
(නිමන්ති රණසිංහ, ආණමඩුව හිරාන් ප‍්‍රියංකර ජයසිංහ සහ පුත්තලම එච්. චන්දන)
මුන්දලම මදුරන්කුලිය සෙම්බැට්ට ප‍්‍රදේශයේ පාළු ඉඩමක තිබී හමුවූ රිවෝලය, රත්නපුර කුරුවිට පොලිසියේ සේවය කරමින් සිටියදී මීට මාස අටකට පෙර අතුරුදන්වූ පොලිස් සැරයන්වරයකු බාරයේ තිබූ එකක් බවට තොරතුරු හෙළිවී ඇතැයි මුන්දලම පොලීසිය පවසයි.
ප‍්‍රදේශවාසියකුගෙන් ලද තොරතුරකට අනුව උණ්ඩ හතක් සහිත මිලි මීටර් 9 වර්ගයේ ගිනි අවිය සහ ඊට ආසන්නයේ තිබී මිනිස් ඇට කැබැලි කිහිපයක් ද මුන්දලම මදුරන්කුලිය සෙම්බැට්ට ප‍්‍රදේශයේ පාළු ඉඩමේ තිබී ඉකුත් 30 වැනිදා සොයා ගත් බව පොලීසිය කියයි.
මෙම පාළු ඉඩමේ තිබූ ගිනි අවිය සහ මිනිස් අස්ථි කැබලි දුටු ප‍්‍රදේශවාසී පුද්ගලයා ගිනි අවිය අතට ගෙන පරීක්ෂා කිරීමට ගොස් බිය වී එය අසල තිබූ වගුරු බිමකට විසිකර ඇති අතර පසුව පොලීසියට කළ පැමිණීල්ලෙන් පසුව ගිනි අවිය සොයා ගත් බව ද පොලීසිය සඳහන් කරයි.
බැලූ බැල්මට මෙම ගිනි අවියේ උණ්ඩ පාවිච්චි කර ඇති බවට තොරතුරු අනාවරණය වුවද ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තා කැඳවිය යුතුව ඇති බව පොලීසිය කියයි.
මෙම ගිනි අවිය සම්බන්ධයෙන් කරන ලද විමර්ශනවලදී එය රත්නපුර කුරුවිට පොලීසියට නිකුත් කර තිබූ මිලි මීටර් නවය වර්ගයේ ගිනි අවියක් බවට හෙළිවූ බව පොලීසිය ප‍්‍රකාශ කරයි.




